කාගිල්ස් බැංකුව 2025 මුල් මාස නවය සඳහා රුපියල් මිලියන 313 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා කාගිල්ස් බැංකුවේ ප්‍රතිඵලවලට අනුව, 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ලාභදායීත්වය රුපියල් මිලියන 155 කින් ඉහළ ගොස් ඇති අතර, රුපියල් මිලියන 313 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, මෙම මාස නවය තුළ ශුද්ධ පොලී ආදායම රුපියල් මිලියන 244 කින් හෙවත් 10% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,743 ක් බවට පත් වී ඇත. වෙළඳපොළේ අඩු පොලී අනුපාත පැවතියද, ණය කළඹේ 31% ක ප්‍රශංසනීය වර්ධනය සහ වෙළෙඳපොල තත්ත්වයන්ට ගැලපෙන පරිදි තැන්පතු සහ අත්තිකාරම් නැවත මිලකරණය කිරීම මගින් ශුද්ධ පොලී ආන්තිකය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් මෙම වර්ධනය අත්පත් කර ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිවලට අනුකූලව වෙළෙඳපොල පොලී අනුපාත ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය ආන්තික වශයෙන් අඩු වී ඇත.

2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් මිලියන 682 ක් වූ අතර, එය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව රුපියල් මිලියන 60 ක වර්ධනයකි. වෙළඳ පරිමාවන්, ණය ආශ්‍රිත ගාස්තු ආදායම සහ කාඩ්පත් ආශ්‍රිත ගාස්තු ආදායම වැඩිදියුණු කිරීමට ගත් ක්‍රියාමාර්ග මෙන්ම ඉහළ ගිය විදේශ ප්‍රේෂණ ආදායම මෙම 10% ක වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක විය.

මූල්‍ය වත්කම් පොත්වලින් ඉවත් කිරීමේදී ලැබූ ප්‍රාග්ධන ලාභ සහ ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගයෙන් මනිනු ලබන මූල්‍ය වත්කම්වල ශුද්ධ ලාභ පිළිවෙලින් රුපියල් මිලියන 142 කින් සහ රුපියල් මිලියන 161 කින් අඩු වී, 2025 මුල් මාස නවය තුළ රුපියල් මිලියන 361 ක් සහ රුපියල් මිලියන 80 ක් බවට පත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 මුල් මාස නවය තුළ මුළු වෙනත් ආදායම 2024 ට සාපේක්ෂව රුපියල් මිලියන 307 කින් හෙවත් 38% කින් පහත වැටී රුපියල් මිලියන 501 ක් වී ඇත.

2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ රුපියල් මිලියන 2,431 ක් වූ මුළු මෙහෙයුම් වියදම්, 2025 මුල් මාස නවය තුළ 14% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,761 ක් වී ඇත. සේවක මණ්ඩලය පුළුල් කිරීම සහ වෙළෙඳපොල තත්ත්වයන්ට ගැලපෙන පරිදි වැටුප් සංශෝධනය කිරීම හේතුවෙන් සේවක වියදම් 15% කින් ඉහළ ගොස් ඇත. ශාඛා ජාලය පුළුල් කිරීම, අලෙවිකරණය සහ වෘත්තීය ගාස්තු ඇතුළු පරිපාලන වියදම් ඉහළ යාම හේතුවෙන් වෙනත් මෙහෙයුම් වියදම් ද 15% කින් වර්ධනය වී ඇත. ඉහත වියදම් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ පිරිවැය-ආදායම් අනුපාතය 2024 දී තිබූ 58.23% සිට 70.31% දක්වා ඉහළ ගොස් ඇත.

ණය ගැනුම්කරුවන්ගේ තත්ත්වය සියුම් ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ වැඩිදියුණු වූ සාර්ව ආර්ථික වටපිටාව මෙන්ම අයකරගැනීම්වල ප්‍රතිඵල සලකා බැලීමෙන් පසුව, මුළු හානිකරණ ගාස්තු රුපියල් මිලියන 162 ක් දක්වා අඩු වී ඇත. මෙය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ රුපියල් මිලියන 811 ට සාපේක්ෂව 80% ක අඩුවීමකි. බැංකුවේ අදියර 3 ණය (අදියර 3 ණය හානිකරණ වෙන්කිරිම්වලට පසු) මුළු ණය ප්‍රමාණයට අනුපාතයක් ලෙස, 2024 සැප්තැම්බර් 30 වන විට 8.74% ක්ව පැවති අතර 2025 සැප්තැම්බර් 30 වන විට එය 7.55% ක් වී ඇත. එසේම, 2025 සැප්තැම්බර් 30 වන විට අදියර 3 ණය ප්‍රතිපාදන ආවරණය 44.78% ක් වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති අවම අවශ්‍යතාවලට වඩා හොඳ මට්ටමක ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා සහ ද්‍රවශීල වත්කම් අනුපාත පවත්වාගෙන යාමට බැංකුව සමත් වී ඇත. මුළු ප්‍රාග්ධන අනුපාතය 17.08% ක් වන අතර ද්‍රවශීලතාවයට අදාළ සියලු‍ අනුපාත නියාමන අවම අවශ්‍යතා සීමාවන් තුළ පැවතී.

2025 සැප්තැම්බර් 30 වන විට බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 88.5 ක් වූ අතර, එය 2025 මුල් මාස නවය තුළ රුපියල් බිලියන 8.2 ක හෙවත් 10% ක වර්ධනයකි. අපගේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලයේ විශිෂ්ට කාර්ය සාධනය පෙන්නුම් කරමින් ණය කළඹ රුපියල් බිලියන 46.1 සිට රුපියල් බිලියන 60.4 දක්වා රුපියල් බිලියන 14.3 කින් හෙවත් 31% කින් ස්ථාවර වර්ධනයක් අත්කර ගෙන ඇත. ඉහළ ගිය ණය ඉල්ලු‍මට සරිලන පරිදි ණය ලබා දීම සඳහා ආයෝජන මුදල් නැවත යෙදවීම හේතුවෙන්, වෙනත් විස්තීරණ ආදායම් හරහා සාධාරණ අගයෙන් මනිනු ලබන මූල්‍ය වත්කම් රුපියල් බිලියන 5.9 කින් හෙවත් 26% කින් අඩු වී රුපියල් බිලියන 16.5 ක් වී ඇත. ලාභයෙන් කොටසක් සාක්ෂාත් කර ගැනීම සහ කල් පිරීමට ආසන්න කොටස්වල වටිනාකම වෙනස්වීම හේතුවෙන්, 2025 සැප්තැම්බර් 30 වන විට වෙනත් විස්තීරණ ආදායම් හරහා සාධාරණ අගය මත සංචිතය රුපියල් මිලියන 223 දක්වා අඩු වී ඇත. පාරිභෝගික තැන්පතු, 2024 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 59.4 සිට වාර්තා කරන දිනය වන විට රුපියල් බිලියන 62.5 දක්වා 5% කින් වර්ධනය වී ඇත.

උපුටා ගැනීම : දිවයින

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top