මැදපෙරදිග යුද්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට දැඩි හානි ගෙන දුන් සතියක් අවසන්

2026 මාර්තු මාසයේ දී දෙවැනි සතියට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (13) දින නිමාවට පත් වූයේ ආයෝජකයින් හට දැඩි පීඩනයක් ඇතිකරමිනි. ඒ පූර්ව සතිය හා සැසඳීමේ දී 4.44%ක පහළ යාමක් මෙම සතිය තුළ දී වාර්තා වූ හෙයිනි.

පසුගිය මාර්තු 06 සිකුරාදා දින කොටස් වෙළෙඳපොළ නිමාවේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,701.91ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර අද (13) දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 21,692.55ක් ලෙසින් සටහන්ව තිබුණි. ඒ අනුව ඒකක 1,009.36ක පහළ යාමක් මෙම සතිය පුරාවට වාර්තා වී තිබේ.

මාර්තු 09 සඳුදා දින සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 797.77ක් දැවැන්ත පහළ යාමකින් පසු මාර්තු 10 අඟහරුවාදා ඒකක 474.38ක ඉහළ යාමක් හරහා යම්කිසි ආකාරයක කොටස් වෙළෙඳපොළ යථාතත්ත්වයට පතවීමක් නිරීක්ෂණය කළ හැකි වුවද පිළිවෙලින් සතියේ ඉතිරි දින තුනේ දීම ඒකක 26.97, 363.43ක් හා 295.57ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා විය.

මේ අතර අද (13) දිනයේ ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශකයේ අගය ඒකක 6,084.65ක් ලෙසින් සටහන් වූ අතර මෙම සතිය තුළ 4.65%ක පසුබෑමක් එහි වාර්තා වේ.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 5.26ක් ලෙසින් වාර්තා වී ඇත.

විශ්ලේෂකයින් පවසන්නේ මැදපෙරදිග දිනෙන් දින තීව්‍ර වන යුධ උණුසුම හමුවේ උද්ගතව තිබෙන ගෝලීය බලශක්ති අර්බුදය, ලෝක ආර්ථිකයේ ඉදිරි ගමන ආපසස්සට හැරවීමට හේතු වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයට එම බලපෑම මඟහැර යාමට කිසිදු අවකාශයක් හිමි නොවන බවයි. එබැවින් ගෝලීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ද පසුගිය දින කිහිපය පුරාවට ප්‍රධාන කොටස් වෙළෙඳපොළ ගණනාවක්ම කඩා වැටුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළට ද එම අත්දැකීම විඳදරා ගැනීමට සිදුව තිබේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top