
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BETSS.COM BETSS.COM Sri Lanka Super Series 2026 පසුගිය දා කොළඹ ඩිමෝ 800 (DIMO 800) ශ්‍රවණාගාරයේ දී නිල වශයෙන් දියත් කෙරිණි. මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහක භවතුන්, මාධ්‍ය ආයතන, තරගකරුවන් සහ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන් රැසක් සහභාගි වූ අතර මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩා දින දර්ශනයේ සුවිශේෂී සලකුණක් තැබීමට නියමිත වසරේ ඉදිරි තරගාවලි පිළිබඳව කරුණු මෙහිදී අනාවරණය කළේය.
SLARDAR විසින් මෙහෙයවනු ලබන 09 වැනි ‘Sri Lanka Super Series’ තරගාවලිය වන මෙය දිවයිනේ වඩාත් ගෞරවනීය සහ ජනප්‍රියතම මෝටර් රථ ක්‍රීඩා ශූරතාවලිය වන අතර වෘත්තීය මට්ටමින් සංවිධානය කරනු ලබන මෝටර් රථ සහ යතුරුපැදි තරග රැසක් මෙහි අන්තර්ගත වේ. මෙම තරගාවලියේ මූලික අරමුණ වන්නේ, කඳු තරණය (Hill Climb), බොරළු ධාවන පථ (Gravel) සහ තාර යෙදූ ධාවන පථ (Tarmac) ආදී වූ විවිධ ධාවන පථයන් ඔස්සේ දක්ෂතා දක්වන රියදුරන් සහ යතුරුපැදිකරුවන් අතරින් වසරේ දක්ෂතම ශූරයන් තෝරාපත් කර ගැනීමය.
SLARDAR හි සභාපති ප්‍රශාන් විජයනායක මහතා මෙහිදී මෙරට මෝටර් රථ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා තම සංගමය නිරන්තරයෙන් කැපවන බව සඳහන් කරමින් තවදුරටත් මෙසේ පැවසුවේය. “ජාතික මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයේ ඉහළ අවධානයක් දිනාගත් අවස්ථාවක් ලෙස Sri Lanka Super Series හැඳින්විය හැකියි. මෙවර ශූරතාවලිය රියදුරන්, යතුරුපැදිකරුවන් සහ අපගේ සහකාර ආයතනයන්ගේ සහයෝගය මෙන්ම කැපවීම සමඟ පෙර වසරවලටත් වඩා ඉහළ අන්දමින් සාර්ථක කර ගැනීමට අපට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
1983 වසරේ දී ආරම්භ කරන ලද SLARDAR සංගමය එහි වසර 40කට අධික දිගු ඉතිහාසය පුරාවට මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ අභිවෘද්ධිය කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. ක්‍රීඩාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම සුවිශේෂී ධාවන පථ නිර්මාණය කිරීමට ද ඔවුන් නිරන්තරයෙන් කටයුතු කර ඇත. විශේෂයෙන්ම මෙරට ප්‍රථම පෞද්ගලික ධාවන පථය වන ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි ‘මහමේරුව රේසින් ඇරීනා ‘ විවෘත කිරීම මෝටර් රථ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයකී.
2026 තරග දින දර්ශනයට අනුව පෙබරවාරි 07 සහ 08 යන දිනවල දී ගිරිඋල්ලේ දී ‘මහමේරුව රැලි ක්‍රොස්’ පළමු අදියර පැවැති අතර එමඟින් ශූරතාවලිය ආරම්භ විය. එමෙන්ම අප්‍රේල් 05 සහ 06 දිනවල දී සින්ගල් ත්‍රී හිල් ක්‍ලයිම්බ් (නුවරඑළිය) තරග ද, මැයි 09 සහ 10 දිනවල දී කලම්බෝ සුපර්ක්‍රොස් (වැලිසර) තරග ද, ජූනි 27 සහ 28 දෙදින තුළ කැවල්රි සුපර්ක්‍රොස් (කුරුණෑගල) තරග ද, සැප්තැම්බර් 05 සහ 06 දී කටුකුරුන්ද සර්කිට් මීට් සහ ඔක්තෝබර් 17 සහ 18 දිනවල දී මහමෙරුව රැලි ක්‍රොස් දෙවන අදියර (ගිරිඋල්ල) තරග ද පැවැත්වීමට නියමිතය.
දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන ‘සම්මාන රාත්‍රිය’ සහ සාදය සමඟින් මෙම උද්යෝගිමත් තරගාවලිය නිමාවට පත් වීමට නියමිතය. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දක්ෂ තරගකරුවන් රැසක් මෙම තරග සඳහා ම සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර,තරගාවලිය තුළ ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන් සහ වෘත්තීයභාවයක් පවත්වා ගැනීම සඳහා මාස ගණනාවක පෙර සූදානමක් ද සිදුකර ඇත.
BETSS.COM මෙවර තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිය දායකයත්වය සපයන අතර BYD ආයතනය නිල මෝටර් රථ සහකරු ලෙස කටයුතු කරයි. Sri Lanka Insurance General ආයතය තරගාවලියේ නිල රක්ෂණ සහකරු වන අතර, PEO SPORTS නිල රූපවාහිනී සහකරු ලෙස සහයෝගය ලබා දෙයි. එමෙන්ම මෙම තරගාවලියේ සියලුම තරග ඉසව් PEO SPORTS නාලිකාව සහ එහි සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, Rough Clothing නිල ඇඳුම් සහකරු ලෙස අනුග්‍රාහකත්වය දරන අතර , Ninehearts තරගාවලියේ නිල ඡායාරූප සහකරු ලෙස කටයුතු කරයි.තවද, Orzone Mineral Water නිල පානීය ජල සැපයුම්කරු ලෙසත්, නවලෝක රෝහල නිල සුව සේවා සහකරු ලෙසත් Fazaal Ceramics නිල Bathware සහකරු ලෙසත් සිය අනුග්‍රාහකත්වය පිරිනමන අතර Landmark Automobiles තරගාවලියේ සම අනුග්‍රාහකත්වය දරයි.
මෝටර් රථ ක්‍රීඩා අංශය පිළිබඳ දශක හතරකට නොඅඩු අත්දැකීම් සහ උසස් වෘත්තීයභාවය පෙරදැරි කරගත් SLARDAR සංගමය විසින් BETSS.COM Sri Lanka Super Series 2026 හරහා මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නව සන්ධිස්ථනයක් සනිටුහන් කිරීමට බලාපොරොත්තු වේ.
