Hatch විසින් ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහනේ දෙවන කණ්ඩායම සාර්ථකව අවසන් කරයි

නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව වේදිකාවක් වන ‘Hatch’, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ එක්ව ක්‍රියාත්මක කළ ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහනේ දෙවන අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.

ගොවිලැබ් වැඩසටහන 2023 අගෝස්තු මාසයේදී රජයේ ‘පුළුල් ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (IDAT)’ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලදී. එය ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යාපාර සහ කෘෂි තාක්ෂණික ව්‍යාපාර සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ක්‍රියා කරයි. තාක්ෂණික දැනුම, ව්‍යාපාරික උපදෙස්, වෙළෙඳපොළ ප්‍රවේශය, හවුල්කාරිත්වයන් සහ ධාරිතා වර්ධනය ඇතුළු සහයෝගයන් මෙම වැඩසටහන මගින් ලබා දෙයි.

පසුගිය වසර දෙක තුළ (2024-2026), මෙම වැඩසටහන මගින් කණ්ඩායම් දෙකක් යටතේ ආරම්භක ව්‍යාපාර 20කට සහය ලබා දී ඇත. මෙම ප්‍රයත්නයන් කෘෂිකාර්මික ඵලදායිතාව, තිරසාරභාවය, ඩිජිටල්කරණය සහ සාකල්‍ය ආර්ථික වර්ධනය පිළිබඳ ජාතික ප්‍රමුඛතාවන්ට සමගාමීව ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Hatch හි ප්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක් පමණ නියැළී සිටින නමුත් දළ දේශීය නිෂ්පාදිතයට 8%කට වඩා අඩු දායකත්වයක් ලබා දෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තාක්ෂණය සහ කාර්යක්ෂමතාව අත්‍යවශ්‍ය වී තිබේ. ගොවිලැබ් කෘෂි තාක්‍ෂණික වැඩසටහන හරහා, මෙම අංශය අනාගතයට සූදානම් කිරීම සඳහා අවශ්‍ය ජාතික වේදිකාව අපි සපයන්නෙමු. පළමු කණ්ඩායම් දෙක මගින්, තම විසඳුම් ජාතික මට්ටමට ගෙන යාමට සහාය අවශ්‍ය වන කෘෂි තාක්ෂණික ආරම්භක ව්‍යාපාරවල ඇති ඉහළ හැකියාව මනාව ඔප්පු කර ඇත.”

මෙම වැඩසටහන මගින් විවිධ පරාසයක විහිදුණු නව්‍ය කෘෂි තාක්ෂණික විසඳුම් රැසක් ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ අතරට පහත දෑ ඇතුළත් විය:

  • වී වගාවට පොහොර යෙදීමට සහ පොල් වගාව කළමනාකරණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතය.
  • හරිතාගාර සහ විවෘත වගා බිම් සඳහා යොදාගත හැකි නිරවද්‍ය කෘෂිකාර්මික විසඳුම්.
  • අලි-මිනිස් ගැටුම ඇතුළු වනසතුන් සහ මිනිසුන් අතර පවතින ගැටුම් වඩාත් සාර්ථකව කළමනාකරණය කිරීමට උපකාරී වන විවිධ තාක්ෂණයන්.
  • දේශීයව නිෂ්පාදිත කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ.
  • කම්කරුවන්ගේ සේවා තත්ත්වය උසස් කිරීමට, මූල්‍ය පහසුකම් ලබා ගැනීම පහසු කිරීමට සහ අස්වැන්න උපරිම කර ගැනීමට ඉවහල් වන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන්.

මෙම දෙවන කණ්ඩායම මෙතෙක් පැමිණි ගමන්මග 2026 මාර්තු 10 වන දින පැවති අතිසාර්ථක ප්‍රදර්ශන දිනයකින් නිමාවට පත් විය. එහිදී සහභාගී වූ ආරම්භක ව්‍යාපාර තම දියුණු කළ නව්‍ය විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, හවුල්කරුවන් සහ ව්‍යවසායකත්ව ප්‍රමුඛයින් වෙත ඉදිරිපත් කළහ. එමගින් තම ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය වැදගත් සබඳතා සහ සම්පත් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසුණි.

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ” නවීන තාක්ෂණය සහ ගම් මට්ටමේ සංවර්ධනය එකට එකතු වූ විට කළ හැකි ප්‍රබල වෙනසට ‘ගොවිලැබ්’ වැඩසටහන කදිම සාක්ෂියකි. කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වඩාත් තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් උදා කර දීමටත් මෙම විසඳුම් මගින් විශාල පිටිවහලක් ලැබෙනු ඇත.”

Hatch පිළිබඳව:

Hatch යනු නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයයි. එය සම-සේවා අවකාශයන්, ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන උපදේශන සේවා සපයන අතර, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපාර ගොඩනගන ව්‍යවසායකයින්ට අවශ්‍ය Incubators සහ Accelerators වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කරයි.

සර්වෝදය පිළිබඳව:

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට පුළුල් මෙහෙවරක් ඉටුකරන, සමාජයට ප්‍රබල බලපෑමක් එල්ල කරන සංවිධානයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top