SLIM Brand Excellence වසර 25ක විශිෂ්ටත්වයට සමරයි

දේශීය සන්නාමයන්  වෙනුවෙන් පිදෙන ඉහළම ඇගයීම වෙනුවෙන් තරග කිරීමට අයදුම්කරුවන්ට ඇරයුම් කරයි

මෙරට අලෙවිකරණ සහ සන්නාමකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඇගයීම් වේදිකාව වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන SLIM Brand Excellence සම්මාන උළෙල මෙවර සිය 25 වැනි රිදී ජුබිලි සංවත්සරය සමරමින් ඇගයිම් තරග ආරම්භ කරයි. ඒ අනුව,   ස්ථාවර, නැගී එන, සුළු හා මධ්‍යම පරිමාණ (SME), ඩිජිටල්, B2B, නවෝත්පාදන සහ තිරසාරභාවය මුල්කරගත් ක්ෂේත්‍රයන්හි නිරත විශිෂ්ට සේවාවක් ඉටුකළ සියලුම ව්‍යාපාර හා සන්නාමයන් වෙත මෙම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වීමට ආරාධනා කරයි.

 ශ්‍රී ලංකාවේ සන්නාමකරණ ක්ෂේත්‍රයේ අඩ සියවසකට ආසන්න කාලයක ගමන්මග සහ පරිණාමය මෙම 25 වැනි සංවත්සරය මගින් නිරූපණය කෙරේ. සාම්ප්‍රදායික සන්නාමකරණයෙන් ඔබ්බට ගමන් කරමින්, ඩිජිටල්කරණය, නවෝත්පාදනය, තිරසාරභාවය සහ අරමුණු සහිත උපායමාර්ගයන් කරා වෙළෙඳපොළ සහ පාරිභෝගික අත්දැකීම් වෙනස් වූ ආකාරය මෙහිදී ඉස්මතු කෙරේ. ඒ අනුව, යාවත්කාලීන කළ සම්මාන කාණ්ඩ රැසක් සහ වඩාත් විධිමත් විනිශ්චය ක්‍රියාවලියක් සහිතව 2026 ඇගයුම් තරග දියත් කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය ආයතනය ලෙස SLIM, සන්නාමයන් හි උපායමාර්ග, ක්‍රියාත්මක කිරීම් සහ දිනා ගත් විශිෂ්ට ප්‍රතිඵල ඇගයීම වෙනුවෙන්  Brand Excellence වේදිකාව ගොඩනගා ඇත. 2026 විනිශ්චය ක්‍රියාවලිය හරහා සන්නාමයේ ප්‍රසිද්ධියට පමණක් සීමා නොවී, එහි සැබෑ කාර්ය සාධනය සහ උපායමාර්ගික සංවර්ධනය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වේ.

මෙම සම්මාන උළෙලේ විනිශ්චය කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිතය. එනම්, මුලික සලකා බැලීම් සහ නිර්ණායක සසඳා බැලීමෙන් පසුව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජ්‍යෙෂ්ඨ විනිශ්චය මණ්ඩලයක් විසින් ප්‍රධාන සම්මාන වර්ගීකරණයන් හි ඇගයීම් සිදු කරනු ලබයි. තවද, ඉදිරිපත් කිරීමේ (Presentation) අදියරක් ද මෙයට ඇතුළත් වන අතර, එමගින් සන්නාම හිමිකරුවන්ට සිය ගමන්මග පිටුපස ඇති උපායමාර්ගික ක්‍රියාවලිය සහ ප්‍රතිඵල නිරූපණය කිරීමට ද අවස්ථාව හිමිවේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපති ඒනොක් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය. “SLIM Brand Excellence 25 වැනි රිදී ජුබිලිය සමරන මෙම අවස්ථාවේ දී, අපගේ අභිමානවත්  අතීතය මෙන්ම ශ්‍රී ලංකාවේ අලෙවිකරණයේ පරිණාමය ද අපි සමරනු ලබනවා. තාක්ෂණය, කෘත්‍රිම  බුද්ධිය (AI) සහ පාරිභෝගික අපේක්ෂාවන් වෙනස්වීමත් සමග සන්නාමයන් පාරිභෝගිකයා සමග ගොඩනඟන සබඳතාව ඉතා වේගයෙන් වෙනස් වෙනවා. දේශීය අලෙවිකරුවන්ගේ සහ සන්නාමයන්හි හැකියාව, විශ්වාසය සහ ගෝලීය දැක්ම වර්ධනය කරමින් ශ්‍රී ලාංකේය අලෙවිකරණය ගෝලීය අවකාශය වෙත රැගෙන යාම SLIM හි අපගේ දැක්මයි. එබැවින් මෙවර Brand Excellence යනු අතීතය සැමරීමක් පමණක්ම නොවේ. එය ශ්‍රී ලාංකේය සන්නාමයන් වෙත සවිය ලබාදෙමින් ගෝලීය බලපෑමක් ඇති කරන ස්ථානය දක්වා රැගෙන යාමට මග සකස් කරන අනාගත වේදිකාවක්.”

මේ සම්බන්ධයෙන් SLIM ආයතනයේ උපසභාපති (උත්සව සහ තිරසාරභාවය අංශය) රජීව් ඩේවිඩ් මහතා සිය අදහස් එකතු කළේ මෙසේය. “SLIM Brand Excellence හි රිදී ජුබිලිය යනු කාලයත් සමග සැබෑ විශිෂ්ටත්වය පරිණාමය වන බව පිළිබඳ මනා සිහිපත් කරවීමක්. 2026 දී, තිරසාරභාවය, නිර්මාණශීලිත්වය සහ වගකීම පෙරදැරි කරගත් සන්නාම අගයමින් ක්ෂේත්‍රයට නව ප්‍රමිතීන් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.”

තව ද, SLIM හි උපසභාපති (අධ්‍යාපන හා පර්යේෂණ අංශය) මන්ථික රණසිංහ මහතා මේ පිළිබඳ සඳහන් කරමින් මෙසේ සඳහන් කළේය. “Brand Excellence යනු විශාලතම සන්නාමය වීම නොව, තමන් තෝරාගත් වෙළෙඳපොළ තුළ ඉහළම කාර්ය සාධනයක් දක්වන සන්නාමය වීමයි. ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම, සෑම පරිමාණයකම සන්නාමයන්ට මෙම අවස්ථාව සමග එකතු වන ලෙස අපි ආරාධනා කරනවා. සම්මානයක් දිනා ගැනීමෙන් ඔබ්බට ගිය වටිනා ඉගෙනුම් ක්‍රියාවලියක් මෙම ඇගයීම හරහා සන්නාමයන්ට හිමිවෙනවා.”

මේ සම්බන්ධයෙන් SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය. “ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස SLIM Brand Excellence Awards 2026 හි සමාරම්භය සනිටුහන් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. වසර ගණනාවක් පුරා මෙම වේදිකාව ඔස්සේ සන්නාමයන් හි උපායමාර්ගික නම්‍යශීලීභාවය, තිරසාර නවෝත්පාදනය සහ ව්‍යාපාරික බලපෑම අගය කරනු ලැබුවා. අලෙවිකරණ ක්ෂේත්‍රයේ වර්ධනයට  දායක වීමට මෙය හොඳම අවස්ථාවක්.”

මෙවර 25 වැනි සංස්කරණයේදී Lifetime Recognition Awards හරහා මෙරට සන්නාමකරණ සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් ප්‍රතිරූපයන් ද ඇගයීමට නියමිතය.

තරගයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ආයතන සඳහා අදාළ සම්මාන වර්ගීකරණයන්, සුදුසුකම්, අයදුම් කිරීමේ ක්‍රමවේද සහ ගාස්තු 2026 Entry Kit මගින් ලබාගත හැකිය. එමෙන්ම Blue Print ලේඛනය මගින් නවීකරණය කරන ලද වර්ගීකරණයන්, විනිශ්චය ක්‍රියාවලිය සහ ජ්‍යෙෂ්ඨ විනිශ්චය මණ්ඩලයේ තොරතුරු ද ඇතුළත් කර ඇත.

SLIM Brand Excellence 2026 ව්‍යාපෘති සභාපති නුවන් තිලකවර්ධන මහතා මේ අවස්ථාව පිළිබඳ සිය අදහස් මෙසේ එකතු කළේය. “25 වැනි රිදී ජුබිලියේදී SLIM Brand Excellence සඳහා නායකත්වය දීමට ලැබීම මා ලද මහඟු  ගෞරවයක්. වර්තමාන වෙළෙඳපොළ අභියෝග හමුවේ සන්නාමයන් ලබාගත් ජයග්‍රහණ සහ උපායමාර්ගික චින්තනය ඉදිරිපත් කිරීමට 2026 සංස්කරණය හොඳම අවස්ථාවක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. විවිධ  පරිමාණයන් නියෝජනය කරන සියලුම සන්නාමයන්ට මෙම සාර්ථකත්වයේ කොටස්කරුවන් වීමට මම ආරාධනා කරනවා.”

SLIM Brand Excellence 2026 විනිශ්චය මණ්ඩලයේ සභාපති මෙන්ම Ceylon Ecolife සමාගමේ සභාපති සහ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක උපායමාර්ගික උපදේශකයෙකු වන නන්දන ඒ. වික්‍රමගේ මහතා මෙම අවස්ථාව පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.”විනිශ්චය මණ්ඩලය ලෙස අපි මෙම සම්මාන උළෙලේ විශ්වසනීයත්වය, සාධාරණත්වය සහ වෘත්තීයභාවය ආරක්ෂා කිරීමට  බැඳී සිටිනවා. සෑම ඇගයීමක්ම විනිවිදභාවයෙන් යුත් දැඩි පරීක්ෂාවකින් පසුව සිදුවන අතර, සන්නාමයන්හි උපායමාර්ගික චින්තනය, නිර්මාණශීලිත්වය, ක්‍රියාත්මක කිරීම සහ ලබාගත් ප්‍රතිඵල මෙන්ම සමාජයට සහ පාරිභෝගිකයාට ඔවුන් විසින් සිදුකළ මෙහෙවර ද මෙහිදී විශේෂයෙන් සලකා බලනවා. විශ්වසනීය  දත්ත සහ සාක්ෂි සහිතව සිය සන්නාමයන්ගේ ගමන්මග ඉදිරිපත් කරන ලෙස මම සියලුම සන්නාම භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අර්ධ සියවස වෙත ගමන් කරන ඉදිරි කාලයේදී SLIM Brand Excellence විසින් දැනටමත් ජයග්‍රහණය කළ සන්නාමයන් කෙරෙහි පමණක් නොව, අනාගතය හැඩගස්වන නව සන්නාමයන් කෙරෙහි ද සිය අවධානය යොමු කරනු ඇත.

වසර විසි පහක විශිෂ්ටත්වයේ ඇගයීම සමග  ඔබේ සන්නාමයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ද ඇගයුම් ලැබීමට මෙය නිසැකවම කදිම අවස්ථාවක් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top