ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ශක්තියෙන් ප්‍රථම Microgrid ව්‍යාපෘතිය LECO, මොරටුව විශ්ව විද්‍යාලය, ඩීමෝ සහ DHYBRID සමග එක්ව දියත් කරයි

ලංකා විදුලි පුද්ගලික සමාගම  (LECO), මොරටුව විශ්ව විද්‍යාලය හා  එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම  Microgrid  නියමු ව්‍යාපෘතිය පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක මූල්‍යාධාර ලබා දී ඇති අතර,  මේ සඳහා ඩීමෝ සමාගම ජර්මානු බලශක්ති ප්‍රමුඛයකු වන DHYBRID හා එක්ව බලශක්ති උත්පාදනය හා ගබඩා කිරීම ඇතුළත් පුළුල් පුනර්ජනනීය Microgrid බලශක්ති විසඳුමක් ලබාදීමට නියමිතය. Microigrid  බලශක්ති ක්‍රමවේදය මේ වන විටත් රට පුරා පාරිභෝගිකයින් සඳහා අඛණ්ඩව විදුලි බෙදාහැරීම සඳහා යෝජිත ආකෘතියකි.

මෙම නියමු ව්‍යාපෘතිය වාණිජ Microgrid පද්ධතියකින් සහ පර්යේෂණ ඒකකයකින් යුක්ත වන අතර, පර්යේෂණ ඒකකය හරහා පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සහ Smartgrid හා සබැඳි සංකල්ප වැඩිදුරටත් අධ්‍යයනය කිරීම අපේක්ෂා කෙරේ. මෙහිදී වාණිජ Microgrid මගින් ලබා ගන්නා දත්ත, ඒ සඳහා භාවිත කරන උපකරණ මෙන්ම, ආදේශක පරිසරය පර්යේෂණ කටයුතු සඳහා ඉවහල් වන නිශ්චිත ඉලක්ක සපුරා ගැනීමට හේතු සාධක වේ.

ශ්‍රී ලංකාවේ හරිත බල ශක්ති සංවර්ධනය වැඩි දියුණු කිරීමේ අරමුණින් විදුලිබල හා  බල ශක්ති අමාත්‍යාංශය ආසියානු සංවර්ධන බැංකුව හා එක්ව අඛණ්ඩව ක්‍රියාවට නංවන වැඩපිළිවෙළෙහි එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහන් කළ හැකිය. ලංකා විදුලි පුද්ගලික සමාගම  මෙම සංකල්පය සාක්ෂාත් කර ගැනීම සඳහා  තෝරා ගන්නා ලදී. එසේම නියමු ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති පරිශ්‍රය ලෙස මොරටුව විශ්ව විද්‍යාලය තෝරා ගැනිණි. මේ සඳහා LECO Smartgrid පර්යේෂණාගාරය පිහිටුවීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය හා LECO සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබිණි. එම පර්යේෂණාගාරය පළමු වසර 20 සඳහා LECO ආයතනය විසින් පවත්වාගෙන යාමට නියමිතය. මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති  පරිශ්‍රය ලෙස  මොරටුව   විශ්ව විද්‍යාලයේ තෝරා ගැනුණේ, එහි ගොඩනැගිලි හා අනෙකුත් අධ්‍යයන පහසුකම් මෙවැනි නියමු ව්‍යාපෘතියක් සඳහා වඩාත් සුදුසු වීම හේතුවෙනි. ඒ අනුව මේ සඳහා  මුලික අදියරේ මූල්‍ය අනුග්‍රහය ආසියානු සංවර්ධන බැංකුවේ Clean Energy Financing Partnership පහසුකම මගින් ප්‍රදානය කෙරේ.

“ආසියානු සංවර්ධන බැංකුව හා  ශ්‍රී ලංකා බල ශක්ති අංශය ඉතා දීර්ඝ කාලීන සබඳතාවක් පවත්වනවා. ශ්‍රී ලංකාවට හරිත බල ශක්තිය ලබා දීමේ අරමුණින් අපි පළමු මහා පරිමාණ 100 MW සුළං බලාගාරයක් මන්නාරමේ ද, 30 MW ජල විදුලි බලාගාරයක් මොරගොල්ලේ ද ඉදිකිරීම සදහා ණය ආධාර සහ තාක්ෂණික දැනුම ලබා දී තිබෙනවා.  ඒ වගේම සූර්ය පැනල සවිකිරීම මෙන්ම  පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය සම්බන්ධයෙන්  සම්ප්‍රේෂණය හා මූලික බෙදාහැරීම මට්ටමේ කාර්යන් සඳහා ද ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාර සහ තාක්ෂණික දැනුම ලබා දී තිබෙනවා. ඒ හැරුණු විට  බල ශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා  ඉල්ලුම හා සැපයුම යන දෙඅංශය සම්බන්ධයෙන්ම අපගේ සහාය ලබාදී තිබෙනවා. හරිත බල ශක්තිය කෙරෙහි අවධානය යොමු කරන  නව්‍යතම විසඳුම් සමග ශ්‍රී ලංකාවට සහාය වීමට  ආසියානු සංවර්ධන බැංකුව නිරන්තරයෙන් කැප වී සිටිනවා.” යනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ, ආචාර්ය Chen Chen මහතා සඳහන් කළේය.

 LECO හි වැඩබලන සාමාන්‍ය අධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“විදුලිය ඇණ හිටීම් වල දී මෙන්ම  නඩත්තු කටයුතු හේතුවෙන්  පාරිභෝගිකයින් මුහුණ දෙන  බාධාවන්ට විසඳුමක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. විදුලිය බිඳ වැටීමක දී  සූර්ය පැනල පද්ධතීන් ද සමස්ත පද්ධතියෙන් ඉවත් වන අතර එවිට  සූර්ය බලශක්තියෙන් විදුලි සැපයීම ලබා ගන්නා  පාරිභෝගිකයින්ට ද විදුලිබල සැපයුම ඇණ  හිටීමෙන් අපහසුතාවයට පත්වීමට සිදු වෙනවා.”

මෙම ගැටළුවට විසඳුමක් ලෙසින් Microgrid  හඳුනාගෙන ඇති අතර එමගින් බෙදාහැරීම් ජාල ධාරිතාව ඉහළ නැංවිය හැකි වේ. එමෙන්ම ප්‍රධාන ජාලකය නොමැති විට පවා විදුලිය සැපයිය හැකි වේ. මන්දයත් මෙමගින් අතිරික්ත බලය ගබඩා කළ හැකි අතර, ප්‍රතිලෝම බල ගලන වැනි  ගැටලු ද  අවම  වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවිනි.  මෙම නියමු ව්‍යාපෘතිය මගින් විදුලිබල සැපයුම පිළිබඳ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමේ හැකියාව LECO මෙමගින් අපේක්ෂා කරයි. එමෙන්ම  මෙම ව්‍යාපෘතිය ආශ්‍රිත අත්දැකීම් ජාත්‍යන්තරය හා බෙදාහදා ගැනීමට ද LECO අපේක්ෂා කරන බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කළේය.

තවද, ආසියානු සංවර්ධන බැංකුවේ කැපී පෙනෙන දායකත්වය සහ සහය ඔහු  විශේෂයෙන් අවධාරණය කළ අතර,   විශේෂයෙන් බල ශක්ති අංශ සමූහයේ ප්‍රධානී ආචාර්ය Yongping Zhai, දකුණු ආසියානු බල ශක්ති අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත විජයතුංග,  දකුණු ආසියානු බලශක්තිය අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය Mukhtor Khamudkhanov,   ආචාර්ය Aiming Zhou, රනිෂ්ක විමලසේන, ආචාර්ය තිලක් සියඹලාපිටිය හා උපාලි දරනගම යන මහත්වරුන්ගෙන් ලැබුණු සහාය ද ඔහු විශේෂයෙන් සඳහන් කළේය. 

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙලෙස සඳහන් කළේය.

“සම්ප්‍රේෂණය, බෙදාහැරීමේ ව්‍යාපෘති සහ විදුලිබල උත්පාදනය තුළින් බලශක්ති ක්ෂේත්‍රයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කරන සමාගමක් ලෙස, ඩීමෝ සමාගමට මෙම බල ශක්ති ව්‍යාපෘතියට සහාය දැක්වීමට හැකිවීම ඇත්තෙන්ම භාග්‍යයක්. මෙම ව්‍යාපෘතිය දේශීය විදුලිබල සැපයුම ඉහළ තලයට ගෙන යාමට ඉවහල් වන්නක්. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම  හුවමාරු කර ගැනීමට අපගේ ජර්මානු හවුල්කරු වන  DHYBRID සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩීමෝ හි ඉහළම සුදුසුකම් ලත් පළපුරුදු ඉංජිනේරු කණ්ඩායමක් පත්කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ Microgrid සංකල්පය වර්ධනය කිරීමට මෙන්ම ඒ පිළිබඳ විශේෂඥතාව වැඩිදියුණු කිරීමට ඩීමෝ වෙත උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.  පසුගිය පනස් වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ  උපයෝගීතා ජාලය ඉදි කිරීමේ හවුල්කරුවකු ලෙස ඩීමෝ කටයුතු කර තිබෙනවා.” 

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝහි අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“Microgrid සංකල්පය මේ වන විට ලොව පුරා අත්හදා බලා භාවිතා කරන අතරම විදුලිබල උත්පාදනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් පිළිගත් නවෝත්පාදනයක් ලෙස ජනප්‍රියව තිබෙනවා. ඒ, ඊට බල සම්ප්‍රේෂණය මුළුමනින්ම බැහැර කරමින්  මූල්‍ය වාසි සලසමින්, විදුලි සැපයුමෙහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට හැකි වීම නිසයි. මෙම සංකල්පය ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නම්,  මෙය  ජාතික විදුලිබල පද්ධතියට දීර්ඝකාලීනව එක් කිරීම සම්බන්ධයෙන්  සලකා බැලෙනු ඇති.”

DHYBRID  සමාගමේ මෙරට කළමනාකරු  Fabian Baretzky අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේ ය.

“ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියෙහි කැපී පෙනෙන වෙනසක් සිදු කළ හැකි මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරීම සඳහා ඩීමෝ සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම  අපට ගෞරවයක්.  විදුලි සැපයුම් ජාලයේ කාර්යක්ෂමතාව වැඩි කරන අතරම ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති සැපයුම  වැඩි දියුණු කිරීම සඳහා LECO ගන්නා අභිලාෂය හා ප්‍රවේශය පිළිබඳව අපි විශ්වාසය තබනවා. ඒ වගේම වඩාත් ස්වාධින හා හරිත බලශක්ති පද්ධතියක් වෙත රටේ විදුලිබල පද්ධතිය යොමු කිරීම සඳහා තවදුරටත් ඩීමෝ වෙත සහාය දීමට අපි සූදානම්.”

DHYBRID යනු  කර්මාන්තශාලා  මෙන්ම දූපත් සඳහාද  පුනර්ජනනීය හා දෙමුහුන් බල ශක්ති පද්ධති සපයන ප්‍රකට පෙළේ ජාත්‍යන්තර බලශක්ති විසඳුම් සැපයුම්කරුවෙකි. ඔවුහු සාම්ප්‍රදායික බලශක්ති සැපයුම් වන  ඩීසල් උත්පාදක යන්ත්‍ර හා අස්ථායී උපයෝගිතා ජාලයන්,  පුනර්ජනනීය බල ශක්ති පද්ධති හා ගබඩා තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරමින් හරිත බලශක්ති විසඳුම් සපයති.

ආසියානු සංවර්ධන බැංකුව, LECO සහ මොරටුව විශ්වවිද්‍යාලය ඩීමෝ සහ DHYBRID සමග එක්ව පවත්වන, ඉතා ශක්තිමත් විශේෂඥ හවුල්කාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ හරිත බල ශක්ති සංවර්ධනය සඳහා වන ශක්තිමත් මෙහෙයුමට දායක වීමට සහ, 2030  වන විට බලශක්ති උත්පාදයෙන් 70% ක් හරිත බලශක්තිය උත්පාදනය කිරීමේ ඉලක්කය වෙත ළගා වීමට හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *