පැල්වත්ත සමාගමෙන් ගෘහස්ත දියර කිරි ඉල්ලුම සපුරාලීමේ ජනපති දැක්ම සාක්ෂාත් කරලීමට පුර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත ඩේරි සමාගම මෙරට දේශීය කිරි ඉල්ලුම සහ දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නංවාලීම සඳහා නව්‍ය  මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙම නව මෙහෙයුම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය සවිබල ගැන්වීමේ සහ ඉදිරි දශකය තුළ දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ දැක්ම පෙරදැරි කර ගනිමින් ඒ සඳහා සහාය ලබා දෙමින් සිදු කෙරේ. රජයේ ජාතික ප්‍රතිපත්ති අනුව “සෞභාගය සහ සශ්‍රිකත්වය සඳහා වන දැක්ම” යටතේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයම එක්ව කුඩා පරිමාණ කිරි ගොවින් සමඟ කෙටි කාලින හා දිගු කාලින සැලසුම් අනුව ඉදිරියට ගමන් කරමින් දේශීය දියර කිරි ඉල්ලුම සපුරාලීමට මේ හරහා කටයුතු කරනු ඇත.

මේ අනුව පැල්වත්ත සමාගම දේශීය කිරි කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් යුතුව, සියළුම කුඩා පරිමාණ කිරි ගොවීන්ට සහ පෞද්ගලික ගොවිපොල වලට ස්ථිර ගැනුම්කරුවෙකුව සිටින බවටත්, ඔවුන්ගේ නිෂ්පාදන ඉහළ නැංවීමට සහ නිරන්තරයෙන්ම තරඟකාරී මිල ගණන් යටතේ කිරි මිලදී ගන්නා බවටත් සහතික වේ.

පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙම නව මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “අපගේ අගය දාමයේ වැදගත්ම අංගය වන්නේ අපගේ කිරි ගොවි ප්‍රජාවයි. පැල්වත්ත සමාගම ලෙස අප විසින් මෙම දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන ජනතාව සමාජ හා ආර්ථිකමය වශයෙන් උසස් තත්වයට ගෙන ඒමට දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව පැල්වත්ත අප කිරි ගොවින් සමග කටයුතු කිරීමට සහ ඔවුන් නගා සිටුවීම වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජන සිදු කරනු ලබනවා.” යැයි පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අක්මාල් මහතා මෙසේ ද සඳහන් කළේය. “තෘණ වගාව වැඩිදියුණු කිරීම, කිරි ගව අභිජනනය සහ පර්යේෂණ ආයතන සේවා ඇතුළුව කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයා විසින් මෑත කාලීනව සිදු කරන ලද සාකච්ඡා වලදී කරන ලද මුලපිරීම් අප ඉතා සුහදව සහ ඉතා කැමැත්තෙන් පිළිගනු ලබනවා. කිරි කර්මාන්තය ආශිත ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා කටයුතු කිරීම ඉතාමත් ප්‍රයෝජනදායකයි. එම දැක්ම සහ එහිම කොටසක් බවට පත්වෙමින් එය සාක්ෂාත් කරලීම උදෙසා කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප ඉතාමත් ආඩම්බර වනවා.” 

පැල්වත්ත ඩේරි සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගික ප්‍රජාව වෙත පිරිනැමීමට කැපවී සිටින සමාගමකි. පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය, රස හා සෞඛ්‍ය යන මූලික පරමාදර්ශී කුළුණු ත්‍රිත්වය මත පිහිටා කටයුතු කරයි. පැල්වත්ත නිෂ්පාදනවල ඇති නැවුම් බව එම නිෂ්පාදනවල මූලික අංගයක් වන අතර ගොවිපලෙන් ලබා ගන්නා කිරි පැය 48ක් තුළ නිමි නිෂ්පාදන බවට පත් කර වෙළඳ පොළට නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය මගින් එය සහතික කරනු ලැබේ.

“දේශීය සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා සහයෝගය ලබා දෙන ශක්තිමත් උපදේශකයකු ලෙස  පැල්වත්ත අපගේ ඉලක්කය වී තිබෙන්නේ පාරිභෝගිකයින්ගේ අවබෝධය පුළුල් කරමින් විවර කිරීමයි. අප වැනි සමාගම් දේශීය කිරි කර්මාන්තයේ යථාර්ථය විනිවිදිමින් ආලෝකයක් විහිදුවමින් ඒ සඳහා ඉහළ වටිනාකමක් එක් කර තිබෙනවා. එහිදී පසුගිය වසර කිහිපය තුළ වෙළඳපොළට ආනයනය කරන ලද ජාත්‍යන්තර වෙළඳ නාමවලට වඩා හෝ සමාන උසස්ම තත්ත්වයේ නිෂ්පාදන අප හඳුන්වා දී තිබෙනවා.” යැයි වික්‍රමනායක මහතා තව දුරටත් පවසයි.

තවද, වසංගත සමයෙන් පසු දේශීය කර්මාන්ත නගා සිටුවීම උදෙසා සහාය ලබා දීම අත්‍යවශය කරුණක්ව තිබේ. ඒ පිළිබඳවද වික්‍රමනායක මහතා මෙසේ සඳහන් කළේය. “COVID-19 කියන්නේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ දෑස් සැබෑ ලෙසම විවර කළ අවස්ථාවක්. එබැවින් ජාතියක් වශයෙන් පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අද වන විට ආනයන අවම කිරීම සහ දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම හරහා අපගේ අනාගත ඉදිරි ගමන ස්ථිර කරනු ඇති.”

පැල්වත්ත ඩේරි ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ තිරසාර වර්ධනය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන අතර ගොවීන් සහ ඔවුන්ගේ ප්‍රජාවන් සවිබල ගැන්වීමෙන් මෙම වර්ධනය වේගවත් කිරීමට උත්සාහ කරයි. මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වාම පැල්වත්ත ඩේරි හී අරමුණ වී ඇත්තේ කිරි නිෂ්පාදනය අතින් රට ස්වයංපෝෂිත කිරීමය. පසුගිය දා ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මෙම ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට රජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීමට සමාගම දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *