කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තියෙන් පීඩාවට පත් ඇඟලුම් සේවිකාවන්ට සහන සැලසීමට USAID හා එක්සත් ජනපද සමාගම් අත්වැල් බැඳ ගනියි

ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව පැණ නැගුණු කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් මෙරට පීඩාවට පත් වුණු ප්‍රධානතම පාර්ශවයක් නම් ඇඟලුම් කම්හල් සේවිකාවන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනකුට ආදායම් මාර්ග මෙන්ම, නවාතැන්ද අහිමි වුණු අතර, ඇතැමකු සිය ගම්බිම්වලට පවා යාගත  නොහැකි තත්ත්වයක පසු වූ බව රහසක් නොවේ.

මෙරට ආර්ථිකය  වෙනුවෙන්, දහඩිය වගුරන ප්‍රධානතම පාර්ශවයක් ලෙසින් කටයුතු කරන ඇඟලුම් සේවිකාවන් අද වන විට මුහුණ දෙන බරපතල ගැටලු හඳුනා ගත්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය, එනම් USAID සංවිධානය හා එක්සත් ජනපදයේ ඉහළම පෙළේ, සිල්ලර, ඇඟලුම් හා පාවහන් සමාගම්‍ මේ පිරිසට අත්වැලක් වීමේ සුබ පණිවිඩය එවා තිබේ.

අද වන විට කොරෝනා හේතුවෙන් මෙලෙස රැකියා අහිමිව ජීවිකාව සොයා ගත නොහැකි තත්ත්වයට පත්ව සිටින්නේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හල් සේවිකාවන් පමණක් නොවේ. අපගේ අසල්වැසි ඉන්දියාවේද, මුළු මහත් ආසියානු කලාපයේද වර්තමානයේ පවතින්නේ එකම තත්ත්වයකි. සමස්ත ආසියානු කලාපයේම, ආර්ථික දියුණුව උදෙසා දහඩිය ශ්‍රමය වගුරන ඇඟලුම් සේවිකාවන්ට පිළිසරණක් ලෙසින් USAID සංවිධානය හා එක්සත් ජනපදයේ සමාගම් මෙලෙස අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව, USAID සංවිධානය හා ඇමරිකානු ඇඟලුම් හා පාවහන්  සංගමය අතර ‍්එකඟතා ගිවිසුමක්ද පසුගියදා අත්සන් තැබිණි. USAID සංවිධානයේ නියෝජ්‍ය පරිපාලක බොනී ග්ලික් එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිළිබඳව තහවුරු කරමින් දැනුම් දී තිබුණේ, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය කාම්බෝජය හා වියට්නාමය යන රටවල සැපයුම් දාමයෙහි ගාමක බලවේගය වන මෙම පිරිසට සහන සැලසීමේ අරමුණින් සිය සංවිධානය හා ඇමරිකානු සිල්ලර, ඇඟලුම් හා පාවහන් සමාගම් සමූහය හා සංගමය එම ගිවිසුම අත්සන් කළ බවයි. USAID සංවිධානයේ නියෝජ්‍ය පරිපාලක බොනී ග්ලික් හා ඇමරිකානු ඇඟලුම් හා පාවහන් සමාගම් සමූහය වෙනුවෙන් සංගමයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ලාමාර් ගිවිසුමට අත්සන් තැබූහ.

මෙලෙස ගිවිසුම් ගත ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතරට කාර්ටර්ස් ඉන්කෝපරේෂන්ස්,‍් ගැප් ඉන්කෝපරේෂන්ස්, ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් සමූහය, ලෙවි ස්ට්‍රෝස් ඇන්ඩ් කම්පැනි, නයික්, ටැපෑස්ට්‍රි, ටාර්ගට්, වී.එෆ් කෝපරේෂන්, වෝල්මාර්ට්, යන සමාගම් හා ඇමරිකානු ඇඟලුම් හා පාවහන් සංගමය, නැෂනල් රීටේල් ෆෙඩරේෂනය, රීටෙල් ඉන්ඩස්ට්‍රි ලීඩර්ස් ඇසෝසියේෂන් හා ‍ U.S. ෆැෂන් ඉන්ඩස්ට්‍රි ඇසෝසියේෂන් යන සංගම් ඇතුළත් වේ.

“කෝවිඩ් වෛරසය පෙර නොවූ විරූ පරිමාණයෙන් ඉතා වේගයෙන් පැතිරීම හේතුවෙන්,‍් ගෝලීය වෙළඳාම හා ආයෝජන කඩාකප්පල් වෙමින් තිබෙනවා. එමෙන්ම මෙම වසංගතය මැඩලීමෙහි නිරත පළමු පෙළ සේවක පිරිස් අවදානමට ලක් කරමින් හා රැකියාවල නියුතු අනෙකුත් මිලියන ගණනක් වන පිරිසට රැකියා අහිමි කරමින්. විශේෂයෙන්ම රැකියාවල නියුතු කාන්තාවන්ට රැකියා අහිමි කරමින් එය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන්, වර්තමානයේ ගෝලීය සැපයුම් දාමය විශාල වශයෙන් බලපෑමට ලක්ව තිබෙනවා.” යනුවෙන් USAID සංවිධානය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ, කෝවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන්,  ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍ර යේ රැකියා 100,000 ක් අහිමි වීමේ අවදානම පිළිබඳව දැනටමත් නිගමනය කර ඇති අතර, වෘත්තීය සමිති අනාවරණය කරන්නේ මේ වන විටත් ක්ෂේත්‍රයේ 85,000 ක පමණ පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි.

COVID-19 වසංගතය මෑතදී ව්‍යාප්ත වීමත් සමග ඇඟලුම් සේවක සේවිකාවන් සිය රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටින අතර, මේ වන විටත් ඔවුන් විශාල පිරිසක් වෛරසයට ගොදුරු වීම හේතුවෙන්, ඇඟලුම් කම්හල් කිහිපයකම මෙහෙයුම් කටයුතු ඇණහිට තිබේ.

රට තුළ සංචරණ සීමා පැනවීම, ව්‍යාපාර තාවකාලිකව වසා දැමීම, නිෂ්පාදන කටයුතු ඇණ හිටීම, භාණ්ඩ නැව්ගත කිරීම ඇණ හිටීම මෙන්ම භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ප්‍රමාද වීම වැනි අභියෝගාත්මක කාරණා හේතුවෙන්, ආසියාවේ ඇඟලුම්, පාවහන් හා විලාසිතා උපාංග ක්ෂේත්‍රය (AFFA) වෛරස ව්‍යාප්තිය නිසා වැඩිම බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍රයන්ගෙන් එකක් ලෙසින් USAID සංවිධානය සඳහන් කර තිබේ.

අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම මගින් බංග්ලාදේශය, කාම්බෝජය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල ඇඟලුම්, පාවහන් හා විලාසිතා උපාංග ක්ෂේත්‍රයේ නිරත සේවක පිරිස්  මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා ඉදිරි වසර පුරා USAID සහ ඉහත සංගමය එක්ව වැඩ කටයුතු කිරීමට අපේක්ෂා කරයි. එවැනි උත්සාහයක් මගින් දේශීය හවුල්කරුවන් හා සහයෝගයෙන්, මෙවැනි තත්ත්වයන් හමුවේ මුහුණ දීමට හැකි වඩාත් ප්‍රතිරෝධී ඇඟලුම්, පාවහන් හා විලාසිතා උපාංග (AFFA) ක්ෂේත්‍රයක් සහ ශ්‍රම බලකායක් ඇති කිරීම, එම ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලාවල සේවකයින්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය වැඩි දියුණු කිරීම සහ ක්ෂේත්‍රයේ  ශ්‍රම බලකායෙහි කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කෙරේ.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදය වෙත යැවුණු ඇඟලුම් අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.75 ක් වූ අතර, එම කාලයට සාපේක්ෂව මේ වසරේ වටිනාකම ඩොලර් බිලියන 1.36 ක් දක්වා අඩු වී තිබේ. එක්සත් ජනපදය යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සඳහා තනි විශාලතම වෙළඳපොළ වන අතර, එරටට ආනයනය කෙරෙන ඇඟලුම් ප්‍රමාණය අතින් බැලූ කල,‍් එක්සත් ජනපදයෙහි 13 වන විශාලතම ඇඟලුම් ආනයනකරුවා වන්නේ ශ්‍රී ලංකාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *