24 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල දියත් කරමින් දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා BCS කැපවේ

BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව, පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් 24වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2022, දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දෙයි. මේ හරහා ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන හා සේවා සඳහා අන්තර්ජාතික තලයකදී තරඟ කරවීමට සුවිශේෂී වේදිකාවක් නිර්මාණය කරයි.   

මෙම සුවිශේෂී සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් එහි සභාපති සන්හර්ෂ ජයතිස්ස මහතා මෙලෙස පවසා සිටියි.  “ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2022 හි සභාපතීත්වය දැරීමට අවස්ථාව හිමිවීම ඉතා ගෞරවයක්. මෙවර තරඟාවලිය ආරම්භ වන තෙක් අප නොඉවසිල්ලෙන් බලාසිටින අතර, මේ හරහා දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය ඉහළ තලයකට රැගෙන ඒමට අප කටයුතු කරනවා.”

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ – NBQSA 2022 හි ප්‍රධාන විනිසුරු ගීතප්‍රිය තිලකරත්න මහතා පවසා සිටින්නේ, වසර ගණනාවක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ ප්‍රධාන විනිශ්චයකරු ලෙස හෙතෙම කටයුතු කර ඇති අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය වර්ධනය වී ඇති ආකාරය මෙම සම්මාන උළෙල තුළින් මැනවින් ගම්‍ය වන බවයි. පසුගිය වසර වලට වඩා මෙම වසරේදී, මෙම සම්මාන උළෙල සඳහා විශාල සහභාගීවන්නන් පිරිසක් ඉදිරිපත් වනු දැකීමට හෙතෙම බලාපොරොත්තු වන බවත් පවසා සිටියි.

ආරම්භයේ සිට සෑම වසරකම, පෞද්ගලික සහ ආයතනික මට්ටමෙන්, මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ පිරිසගේ ඉහළ යාමක් පෙන්නුම් කරයි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල, දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය, අන්තර්ජාතික තලයට රැගෙන ඒමට විශාල සහයෝගයක් දක්වයි.  මෙම සම්මාන උළෙලේ පසුගිය වසර වල ජයග්‍රාහකයින්, ආසියානු පැසිෆික් එලායන්ස් කලාපීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ (APICTA) සම්මාන උළෙල සඳහා තරඟ කරමින් සිය නාමයන් අන්තර්ජාතික තලයට රැගෙන ගොස් ඇත. 

මේ පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශයේ සභාපති, වජීන්ද්‍ර එස්. කන්දේගමගේ මහතා මෙලෙස පවසා සිටියි. “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තීය ආයතනය ලෙස නම් දරා ඇති BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාවේ හි   ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කර සංවර්ධනය කරන ලද,  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මක වැඩිදියුණු කිරීම් සඳහා හැකි සෑම අයුරින්ම දායකත්වයක් ලබා දීමයි. විශේෂයෙන්ම, ඔවුන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට තත්වයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සේවාවන් හඳුනාගෙන, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සමාගම් හරහා ව්‍යාපාර අවස්ථා සොයා දීමට සහ ආයෝජන ප්‍රවර්ධන සඳහා පහසුකම් සැපයීම කෙරෙහි අප වැඩි අවධානයක් යොමු කරනවා.  මේ සඳහා, මෙවන් ආකාරයේ සුවිශේෂී සම්මාන උළෙලක් දක්වන්නේ විශාල දායකත්වයක්. විශේෂයන්ම, මෙහි ජයග්‍රාහකයින් සඳහා Asia Pacific ICT Alliance Awards (APICTA) සඳහා සහභාගී වීමට හැකියාව හිමිවීම ඔවුන් ලබන ජයග්‍රාහී අවස්ථාවක්. දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෙවන් ආකාරයේ සම්මාන උළෙලන් ඉදිරියටත් සංවිධානය කිරීමට අප බලාපොරොත්තුවෙන් පසු වෙනවා.”

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල “ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්,  පුද්ගලයන්ගේ සහ සංවිධානාවල” කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දෙයි. බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශය 1998 වර්ෂයේ සිට වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල හරහා Asia Pacific ICT Alliance Awards (APICTA) සඳහා ජාතික මට්ටමෙන් සහභාගී වන්නන් තීරණය කරයි. NBQSA 2022 පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.nbsqa.org වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *