වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) එක් විය. රජයෙන් සිදු කරනු ලබන මෙම ඉල්ලීම මෙරට කර්මාන්තයන් මුහුණ දෙන මූල්‍ය පීඩනය සමනය කිරීමේ සහ අත්‍යාවශ්‍ය භාවිතයන් සඳහා  සාධාරණ මිලක් ලබා දෙන වියදම් – සම්බන්ධ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය.

ශ්‍රී ලංකා රජයේ කැබිනට් ප්‍රකාශකවරයා මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය මාසයේ දී නිවේදනය කර සිටියේ ජල ගාස්තු අඩු කිරීම සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි. ඉන් පසුව පසුගිය අගෝස්තු 23 වන සිකුරාදා ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා වන ජල ගාස්තු 7%කින් අඩු කරන බවද රජය විසින් නිවේදනය කර සිටින ලදී. ඊට අමතරව රජයේ රෝහල් සඳහා වන ජල ගාස්තු 4.5%කින්ද, විහාරස්ථාන හා අනෙකුත් වැදගත් ආගමික ස්ථාන සඳහා 6.3%කින් අඩු කිරීම සම්බන්ධ ගැසට් පත්‍රයද පසුගියදා රජය විසින් එළි දක්වන ලදී. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මෙම සංශෝධිත ගාස්තු අගෝස්තු මස 21 වන දින සිට ක්‍රියාත්මක විය.

මෙම ගැසට් නිවේදනය ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ ජල පරිභෝජනය සඳහා සාධාරණ මිල ගණන් ඉදිරිපත් කිරීමක් ලෙස දැකිය හැකි වුවද නිෂ්පාදන ආයතනයන්ගේ මිල සූත්‍රයෙන් මෙම කාර්මික කටයුතු සඳහා ජල පරිභෝජන වියදම් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් එම කර්මාන්තකරුවන්ගේ එකතුව රජයෙන් ප්‍රශ්න කර සිටියි.

ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ “මෙරට කර්මාන්ත සඳහා සුවිසල් බලපෑමක් ඇති කරන ජලය මෙහෙයුම් වියදම් සඳහාත් ඍජු බලපෑමක් එල්ල කරනවා. එය ඉහළ මිල සම්බන්ධ තරඟකාරීත්වයට දැඩිව බලපෑ හැකි අතර නිෂ්පාදන අංශයන්හි අවශ්‍ය ආයෝජන වැළැක්වීමටද හේතුවක් වනවා- ජල ගාස්තු අඩු කිරීමට කටයුතු කිරීම යහපත් ආර්ථිකයකට හා ගෝලීය තරඟකාරීත්වයටත් ඍජු බලපෑමක් ඇති කරනවා.” යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගනු ලැබූ ගිවිසුමකට අනුව ස්ථාපිත කරන ලද නව මිල සූත්‍රයේ අරමුණ වී ඇත්තේ ජල සැපයුමෙහි සැබෑ වියදම පෙන්වා දීමයි. පසුගිය කාලය තුළ ඉන්ධන හා විදුලිය ගාස්තු අඩු කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් ජල ගාස්තු තවදුරටත් සංශෝධනය කිරීමට සලකා බලමින් සිටියි.

නව ගාස්තු යටතේ ගෘහස්ත මට්ටමින් ගාස්තු අඩු කිරීමට දැන් කටයුතු කරමින් සිටියි. කාර්මික ගාස්තු තවමත් වෙනස් වී නොමැති තත්වයක් තුළ එම කාර්මික ගාස්තු තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක්ද පවතී.

2022 වසරේදී ආයෝජන මණ්ඩල කලාපයන් වෙත සපයනු ලැබූ ජල ගාස්තුව රුපියල් 65 සිට 85 දක්වා ඉහළ නංවන ලදී. එය 2023 දී නැවත ඒකකයකට රුපියල් 150ක් ලෙස ඉහළ යාම තුළින් ඉහත දැක්වූ ප්‍රවණතාව මනාව පෙන්නුම් කරයි.

ලංකා විදුලිය බල මණ්ඩලය විසින් මෑතකදී විදුලිය ගාස්තු අඩු කිරීමට පියවර ගැනීම මෙන්ම ඉන්ධන, රසායනික හා පොලී වියදම් අඩු වීම වැනි කරුණු හේතුවෙන් ජල ගාස්තු සම්බන්ධයෙන් නැවත සලකා බලමින් ගාස්තු අඩු කිරීමට මහඟු අවස්ථාවක් උදා වී ඇති බව කර්මාන්ත සංගම් පෙන්වා දී සිටියි. ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා වූ ජල ගාස්තු අඩු කිරීමේ ගැසට් නිවේදනය ගැසට් අංක 2398/19 යටතේ නිකුත් කරනු ලැබීය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් 2023 අගෝස්තු 01 වන දින සිට අනුමත ගාස්තු ප්‍රතිපත්තිය හා සූත්‍රය මත පදනම්ව දැනට පවතින ජල ගාස්තු ක්‍රියාත්මක කොට ඇත. ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට හා සියලු ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකි බව තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙසද ජල ගාස්තු අඩු කිරීම සඳහන් කළ හැකි බවද කර්මාන්ත සංගම් සඳහන් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top