“ලොව ප්‍රමුඛතම කාන්තා සවිබල ගැන්වීමේ තිරසර ක්‍රියාවලිය” වෙනුවෙන් එයිට්කන්ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනය සම්මානයෙන් පිදුම් ලබයි

කාන්තාව සවිබලගැන්වීමේ ලොව තිරසරම ක්‍රියාවලිය සඳහා එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ  ආයතනය (Aitken Spence Institute of Hotel Management) ලෝක තිරසර සංචාරක සහ ආගන්තුක සත්කාරක සේවා සම්මාන උළෙලෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ඩුබායි එක්ස්පෝ සිටි ටෙරා පැවිලියන්හි පැවැති මෙම සම්මාන උළෙලෙහිදී මෙලෙස කැපී පෙනෙන පිළිගැනීමක් ලැබීම ඊළඟ පරම්පරාවේ තරුණ වෘත්තිකයන් සවිබලගන්වමින් සහ පෝෂණය කරමින් ආගන්තුක සත්කාරක සේවා ක්ෂේත්‍රයේ අනාගතය හැඩ ගැස්වීම සඳහා අවශ්‍ය විශ්වාසය සහ නිපුණතාව සමඟ ඔවුන්ව සූදානම් කිරීමේ ආයතනයේ මෙහෙවර තුළ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

සැමට සමාන අධ්‍යාපනයක් ලබාදීම සහ ස්ත්‍රී – පුරුෂ භාවය මත පිරිස සවිබල ගැන්වීම සඳහා ආයතනය විසින් ලබාදෙන නොසැලෙන දායකත්වයට මනා සාක්ෂියක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැක්කේ එය තරගකාරී ඉදිරිපත් වීම් 745 අතුරින් නෝවා ව්‍යාපාරික පාසලේ තිරසර ව්‍යාපාරකරණය හදාරන සිසුන් සහ විසිදහසකට වැඩි ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විසින් ඉටු කළ ඉතා තරගකාරී සහ අසීරු තෝරා ගැනීමේ ක්‍රියාවලියක් යටතේ ජයග්‍රහණය කිරීම නිසාය. ලෝක තිරසර සංචාරක සහ ආගන්තුක සත්කාරක සේවා සම්මාන උළෙල ප්‍රමුඛ පෙළේ විද්වතුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ලෝක සංචාරක කවුන්සිලය, ලෝක තිරසර ආගන්තුක සත්කාර සන්ධානය සහ ජාත්‍යන්තර සංචාරක අංශයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ගෙන් සමන්විත ගෝලීය නායකයන්ගේ උපදේශක මණ්ඩලයක මඟ පෙන්වීම යටතේ පවත්වනු ලබයි.

එයිට්කන් ස්පෙන්ස් හි ආයතනික සමාජ වගකීම් මුලපිරීම (CSR) යටතේ 2007 වසරේදී පිහිටුවන ලද හෝටල් කළමනාකරණ ආයතනය TUI සත්කාර පදනම (TUI Care Foundation) සහ ලෝක තිරසර ආගන්තුක සත්කාර සන්ධානය (World Sustainable Hospitality Alliance) සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වෙමින් ලෝක මට්ටමේ වෘත්තීය අධ්‍යාපනයක් සහ ප්‍රායෝගික අත්දැකීම් සිසුන් හට පිරිනමයි. හෙරිටන්ස් අහුන්ගල්ල සහ හෙරිටන්ස් කණ්ඩලම යන හෝටල් යටතේ ඇති හෝටල් පාසල් හරහා, ආහාර හා පාන වර්ග, ගෘහ පාලනය සහ වෘත්තීයමය ඉවුම් පිහුම් පිළිබඳව ක්ෂේත්‍රය තුළ ප්‍රයෝගික අත්දැකීම් සමඟ පන්ති කාමරයේ අධ්‍යයන කටයුතු ඒකාබද්ධ කරමින් මාස පහක පුහුණුවක් ආයතනය විසින් සිසුන්හට ලබාදෙයි.

සම්මානය පිළිබඳව අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී (Aitken Spence Hotels Holdings PLC) හි සභාපතිනිය ස්ටෂානි ජයවර්ධන මෙසේ පැවැසුවාය. “මෙම පිළිගැනීම ඊළඟ පරම්පාරාවේ ආගන්තුක සත්කාරක සේවා නායකයන් සංවර්ධනය කිරීමේ අපේ කැපවීම නැවත තහවුරු කිරීමක්. එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනය ප්‍රායෝගික පුහුණුව සහ සැබෑ ලෙසම ලෝක මට්ටමේ දැනුමෙන් සන්නද්ධ කරමින් තරුණ තරුණියන් සාර්ථකත්වයේ මෙවලම්වලින් සවිබල ගන්වනවා. අපි එකතු වෙලා ශ්‍රී ලංකාව සඳහා වඩාත් සමානාත්මතාවයෙන් යුතු සහ අනාගතයට සූදානම් ආගන්තුක සත්කාරක සේවා කර්මාන්තයක් ගොඩනඟමින් ඉන්නවා.”

උපුටා ගැනීම :මව්බිම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top