නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා SLIIT සහ Huawei අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

SLIIT මහනුවර විශ්වවිද්‍යාලය, Huawei සමඟ ඒකාබද්ධව පර්යේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් පල්ලකැලේ SLIIT Kandy Uni හි නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත.

SLIIT හි සභාපති සහ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ Huawei Technologies Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze (Zeh) විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.

මහනුවර Huawei ICT Academy Innovation Lab පර්යේෂණ සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා අති නවීන පහසුකම් සපයනු ඇති අතර සහයෝගීතා පර්යේෂණ, පුහුණු වැඩසටහන්, සහතික කිරීම්, සීමාවාසික පුහුණුව, කාර්මික සහ ක්ෂේත්‍ර පුහුණු අවස්ථා තුළින් දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ, SLIIT උපාධි අපේක්ෂකයින්ට ශ්‍රී ලංකාව පුරා පිහිටි Huawei වැඩබිම් වල සීමාවාසික පුහුණුව සහ ක්ෂේත්‍ර චාරිකා මගින් වටිනා ක්ෂේත්‍ර අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව උදාවේ. රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායට කුසලතාවලින් පිරිපුන් සිසුන් පිරිසක් බිහි කිරීමට අවශ්‍ය Huawei විසින් සහතික කරන ලද පාඨමාලා ලබාදීමට මෙම පීඨය කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ වෙනුවෙන් ඒකාබද්ධ පර්යේෂණ කටයුතුද  සිදු කිරීමට නියමිතව ඇත.

SLIIT මහනුවර විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ආචාර්ය මාධව හේරත් මහතා ප්‍රකාශ කළේ, “SLIIT සහ Huawei අතර ඇති හවුල්කාරිත්වය SLIIT Kandy Uni සඳහා පමණක් නොව, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ නවෝත්පාදන සහ පර්යේෂණ ශක්තිමත් කිරීම සඳහා ආකර්ෂණීය නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. ඒකාබද්ධ පර්යේෂණ සහ නවෝත්පාදන විද්‍යාගාරය පිහිටුවීම අපගේ සිසුන්ට සහ පීඨයට ගෝලීය තාක්‍ෂණ ප්‍රමුඛයෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අසමසම අවස්ථාවන් ලබා දෙනු ඇත. අධ්‍යයන විශිෂ්ටත්වය කර්මාන්තයේ ප්‍රවීණත්වය සමඟ ඒකාබද්ධ කිරීම තුළින් අපට සැබෑ ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට සහ අති නවීන විසඳුම් සංවර්ධනය කිරීමට මඟ පාදයි. ශාස්ත්‍රීය හා කර්මාන්ත අතර සහයෝගීතාවය අපගේ සිසුන්ගේ ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කරනවා පමණක් නොව ජාතියේ තාක්ෂණික හැකියාවන්ගේ ප්‍රගමනයට ද දායක වනු ඇත. ඩිජිටල් අනාගතය සඳහා දක්ෂතා පෝෂණය කරන ඵලදායී සහයෝගීතාවයක් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

යෝජිත ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරය උපාධි අපේක්ෂකයින් හා උපාධි පර්යේෂණ සඳහා තවදුරටත් පහසුකම් සපයන අතර කාර්මික අවශ්‍යතා සඳහා විසඳුම් සහ නිෂ්පාදන සංවර්ධනය කිරීමටද පහසුකම් සපයයි. තවද Huawei විසින් පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා අරමුදල් සහ තාක්ෂණික මාර්ගෝපදේශ ද  ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *