ජාතික පාරිසරික එකමුතුව  පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම අවධාරණය කරයි

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව  විසින් පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත වාර්තාවක් භාර දෙන ලදී.

ශ්‍රි ලංකාව සතුව හිරු එළිය, ජෛව ස්කන්ධ, සුළං සහ ජල සම්පත් බහුලව පවතින බැවින් මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය ජනනය කිරීමට ඉහළ අවස්ථාවක් තිබෙන බව මෙන්ම ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට ද ඒ සඳහා බෙහෙවින් ඉවහල් වන බව මෙම වාර්තාව මඟින් ඔවුන් අවධාරණය කර ඇත. එහෙත් නව තාක්ෂණයේ හිඟකම, නව ව්‍යාපෘති ප්‍රමාණවත් ලෙස ස්ථාපිත නොකිරීම  සහ මූල්‍ය අංශයේ මතු වී ඇති ගැටලු වැනි හේතු සාධක නිසා මෙරට පුනර්ජනනීය බලශක්ති අංශය සැලකිය යුතු අභියෝග රැසකට මුහුණ දී තිබේ. එමෙන්ම රටේ උද්ගතව ඇති ආර්ථික තත්ත්වය සහ අඛණ්ඩ විදුලි බිඳවැටීම් තුළින් මෙම ගැටලු තවදුරටත් සංකීර්ණ වී ඇත.

මෙම අභියෝගවලට සාර්ථකව  මුහුණදීමට මෙන්ම නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජන අවස්ථාවන් පෝෂණය  කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් නිර්මාණාත්මක උපාය මාර්ග, සැලසුම්, නව නීති , රෙගුලාසි සහ දිරිගැන්වීම් සංවර්ධනය  කිරීම වැදගත් වේ. පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම කෙරෙහි පාරිභෝගිකයන් දිරිගැන්වීමට මෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයේ වර්ධනය ඉහළ නැංවීමට මෙම ක්‍රියාමාර්ග නිසැකවම උපකාරී වනු ඇත .

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හරහා  ප්‍රතිලාභ රැසක් හිමිවන බව පැහැදිලිවම අවබෝධ කර ගත හැකි පසුබිමක බලය සහිත ඇතැම් පුද්ගලයන් විවිධ කරුණු දක්වමින් සහ ඒවා සාධාරණීකරණය කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට බාධා කිරීමට සහ ව්‍යාපෘති  ප්‍රමාද කිරීමට කටයුතු කර ඇති බව ද මෙම වාර්තාව ඔස්සේ ඔවුන් තවදුරටත් සඳහන් කර තිබේ. ජාතික පරිසර එකමුතුව  විසින්  ශ්‍රී ලංකාවේ වර්තමාන මුල්‍ය අර්බුදය ඉදිරියේ සෘජු විදෙස් ආයෝජනවල වැදගත්කම මැනවින් පසක් කරගනිමින් දේශීය ආයෝජන දිරිගැන්වීමට මෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම සහ  ප්‍රවර්ධනය කිරීම  සඳහා  සිය සහයෝගය  ලබාදීමට කැපවී සිටියි.

යෝජිත මෙගාවොට් 500 මන්නාරම සහ පුනරීන් අතර  සුළං බල ව්‍යාපෘතිය මේ සඳහා කදිම නිදසුනකි. පාර්ශව කිහිපයක් විවිධ හේතු දක්වමින් මෙම ව්‍යාපෘතිය කෙරෙහි සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.එහෙත් ව්‍යාපෘතියෙහි පාරිසරික බලපෑම අවම කිරීම සඳහා අවශ්‍ය සියලුම පූර්ව ආරක්ෂණ පියවර අනුගමනය කිරීමට කටයුතු කළහොත් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා යුතු බව ජාතික පාරිසරික එකමුතුව අවධාරණය කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *